ලංකා කොමික්-කොන් ගැන කෙටි ලිපියක්

“කොමික්-කොන්” Comic Con කියන්නේ මොකක්ද කියලා කෙනෙක් හරියටම ඇහුවොත් දෙන්න පුළුවන් අර්ථකථනය වෙන්නේ මේක එක්තරා ආකාරයක සැණකෙලියක්. දැනට ජාත්‍යන්තර මට්ටමින් ලොව පුරා පැවැත්වෙන මෙවැනි සැණකෙළි ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ ලොව පුරා වාර්ෂිකව නිකුත්වෙන චිත්‍ර කථා සහ විද්‍යා ප්‍රබන්ධ ෆැන්ටසිවලට අදාල වෙන පොත්, චිත්‍රපට ඇතුළු එයට අදාල විශාල උපසංස්කෘතික අංග ගණනාවකට අදාලවන නිර්මාණයි. මෙසේ බිහිවු උපසංස්කෘතින් ගණනාවක් උනන්දුවෙන් වැලඳගත් ශ්‍රී ලාංකිකයිනුත් විශාල ප්‍රමාණයක් අද මේ රටේ දකින්න පුළුවන්. ඒ විශාල කොටසකගේ එකමුතුවෙන් තමයි මේ “ලංකා කොමික්-කොන්” කියන උත්සවය බිහිවෙන්නේ.

1960 දශකයේ ඇමරිකාවේ ආරම්භවූ මෙම විචිත්‍රවත් සැණකෙලිය ඉතා වේගයෙන් කාලයත් එක්ක පරිණාමණය වෙමින් ලොව පුරා දස දෙස පැතිරෙන්නට පටන්ගත්තා. එක් දිනක් පුරාවට පැවැත්වෙන මෙම සැණකෙලිය, කාලයත් සමග දින කීපයක් පුරාව ට පැතිරෙන තරමට විකසනය වුනා. වර්තමානයේ වාර්ෂිකව ඇමරිකාවේ සැන් දියේගෝ (San Diego) ඇතුලු නගර  කිහිපයක් සමගින් ඕස්ට්‍රේලියාව, එංගලන්තය,ඉන්දියාව, මැදපෙරදිග, ජපානය මෙන් තවත් රටවල් ගණනාවක මෙම “කොමික්-කොන්” සැණකෙළි ඉතා උත්කර්ෂවත් අයුරින් පැවත්වෙනවා. ශ්‍රී ලංකාව තුල මුල්වරට මහා පරිමාණයෙන් සංවිධානය “ලංකා කොමික්-කොන්” උළෙල මෙවරත් දෙවන වතාවට අති උත්කර්ෂවත් අයුරින් කොළඹ JDA කලාගාරයේදි අගෝස්තු 20 සහ 21 දිනයන්හීදි දවස පුරා පැවත්වීමට නියමිත වන අතර. ටිකට් පතක මිල රුපියල් 100ක් පමණයි. Geek Club of Sri Lanka Facebook සමූහය විසින් සංවිධානය කරන මෙයට සිත්ගන්නා විශේෂාංග ගණනාවක් ඇතුලත්.

 

“ලංකා කොමික්-කොන්” උළෙලේ දී ලාංකිකයන් නිර්මාණය කරපු ප්‍රබන්ධ වගේම චිත්‍ර කතා කීපයකුත් එළිදැක්වීමට නියමිතයි.

සචිත්‍ර එදිරීවීර කියන්නෙ දෘශ්‍ය මාධ්‍යයෙන් ඉතා අගනා නිර්මාණ ගණනාවක් බිහි කළ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන්ම චිත්‍ර ශිල්පියෙක්. ඔහුගේ ප්‍රථම චිත්‍රකථාව “ලයන්බෝන්” (Lion Born) නමින් ලංකා කොමික්-කොන් උළලේදි නිකුත්වීමට නියමිතයි. ඒ වගේම ඔහුව හමුවී එය පිලිබඳව ඔහු සමග අදහස් බෙදාහදාගැනීමටත්, ඔහුගේ අනෙකුත් නිර්මාණ රසවිඳීමටත් ඔබට පුළුවන්.

“Podi” නමැති තවත්ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් විසින් නිර්මාණය කළ චිත්‍ර කථාවකුත් මෙහිදී එළි දැක්වෙනවා. “පොඩී” නිර්මාණය කර තිබෙන්නේ ඉසුරි දයාරත්න, නවීන් රත්නායක සහ දේශාන් තෙන්නකෝන් විසින්. පිටු 120ක් පුරාවට දිවෙන “පොඩී” චිත්‍රකථාව Oni Press ලොක ප්‍රකට චිත්‍ර කථා ප්‍රකාශකයින් විසින් ප්‍රකාශණය කරනු ලබනවා. “ලංකා කොමික්-කොන්” හිදී පළමු වරට මෙරටදීම පොඩී රස වින්දින්නත්, නිර්මාණකරුවන් හමුවෙන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා.

 

 

 

 

ශ්‍රී ලාංකික විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් වන නවීන් වීරරත්නගේ නවතම විද්‍යා ප්‍රබන්ධය, The 100 gram mission. “ලංකා කොමික්-කොන්” හිදී එළිදක්වනවා. ඉංග්‍රීසි බසින් ලියවුනු මේ නව ආරක ප්‍රබන්ධය, ඈත ග්‍රහලෝක වල ජනාවාස බිහි කිරීම කියන කාරණාව වටා ගෙතුණු කතන්දරයක්. ඔබ සංකීර්ණ විද්‍යා ප්‍රබන්ධ වල රසිකයෙක් නම් අනිවාර්යයෙන් කියවල බලන්න වටින කතාවක්.

 

 

 

 

‘Cosplay’ තරඟය

ගමේ විකට ඇඳුම් තරඟය ගැන අහලා ඇතිනේ. මේක ඊට ටිකක් එහාට ගිය එකක්. “කොමික්-කොන්” උළෙලක තියෙන තවත් එක් විශේෂාංගයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. කිසිඳු වයස් භේදයකින් තොරව ඔබේ කැමතිම සුපිරි වීරයා, වීරවරිය හෝ එදා මෙදාතුර තමන්ට ආසාවෙන් වැළඳගත් කුමන හෝ චරිතයක් ලෙස හැඳ පැළඳගෙන ඉදිරිපත් වීම මූලික වශයෙන් මෙහි  අදහස. මෙහිදී තමන් නිරූපණය කරන මෙම චරිතයට ගොඩාක් ආසන්න ලෙස හෝ ඊටත් වඩා හොඳට නිරූපණය වෙන අවස්ථා දකින්න ලැබෙනවා. ඇතැම් නිරූපණ ශිල්පීන් මුළු උළෙල පුරාම එම චරිතයට අවතීර්ණ වී සිට විනෝද වන අවස්ථාත් දකින්න ලැබෙනවා.

 

බොහෝ වේලාවට තමන්ට පුලුවන් අයුරින් තමන් කැමති චරිතය නිරූපණය කරන්න ගොඩක් අය තමන්ගේ උපරිම උත්සාහය දෙනවා. කවුරු කෙසේ කීවත් ඒ හැම අය්ගේම උත්සාහය අගය කිරීමකින් නැතුව යන්නේ නෑ කියලා බය නැතුව කියන්න පුලුවන්. ගිය අවුරුදේදි 150කට අධික පිරිසක් මෙසේ නිරූපණය සඳහා ඉදිරිපත් උනා. මෙවර ඊටත් වඩා වැඩි පිරිසක් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා කියන එකනම් රහසක් නෙවේ.  

මෙවරත් හොඳම Cosplay නිර්මාණ සඳහා ත්‍යාග ලබාදීමක් සීද්ධ වෙන අතර එය සඳහා මෙතනින් තම නම සහ චරිතය ඇතුලත් කර නොමිලේම ලියාපදිංචි වෙන්න පුළුවන්.

පසුගිය වසරේ සහභාගී වූ නිරූපණ ශිල්පීන්ගේ ඡායාරූප කීපයක් මෙතනින්

http://www.lankacomiccon.lk/lanka-comic-con-2015/

 

විනෝදාත්මක ක්‍රීඩා

පෙතක් සහ ඉත්තන් යොදාගෙන වගේම විවිධ කාඩ් වර්ග යොදාගෙන කරන Monopoly වගේ ක්‍රීඩා ඔබ අහලා, ක්‍රීඩා කරලා ඇති. ඊටත් වඩා විනෝදය ගේන, විවිධ විද්‍යා ප්‍රබන්ධ හෝ ෆැන්ටසි ආරක සිද්ධි ඇතුලත්වෙන නොයෙක් ක්‍රීඩා මේ වතාවේ “ලංකා කොමික්-කොන්” උළෙලට එකතු වෙනවා. අද්භූත සිද්ධි වෙන පරණ මන්දිරයක් ගවේෂණය, එහෙමත් නැතිනම් වසර හතලිස්දාහක් අනාගතයේ පිටසක්වල ජීවීන් එක්ක කෙරෙන යුද්ධ වගේ අමුතුම සිත්ගන්නාසුළු සිද්ධි අඩංගු මේ ක්‍රීඩා ඔබට තනිව හෝ මිතුරන් සමග රසවිඳීමට “ලංකා කොමික්-කොන්” අවස්ථාව ලබා දෙනවා.

 

මේ විශේෂාංග වලට අමතරව තවත් විශේෂාංග ගණනාවක් මෙම උළෙලට ඇතුලත්. ඔබ ආදරය කරන චිත්‍ර කතා ගණනාවකට අදාල වෙන පොත්, චිත්‍ර, ඇඳුම් සහ විවිධාකර උපාංග ගණනාවක් කොමික්-කොන් උළෙලේදි මිලදී ගන්න ඔබට පුළුවන්. ඔබ වගේම චිත්‍රකතා, ප්‍රබන්ධ සහ ඒ වගේ වෙනත් සංස්කෘතික අංගවල ලංකාව පුරා සිටින රසිකයින් හමුවෙන්නත්, කතා බහ කරන්නත් “ලංකා කොමික්-කොන්” අපූරු තැනක් වේවි කියලා අපි හැමෝම විශ්වාස කරනවා.

වැඩි විස්තර සඳහා www.lankacomiccon.lk  වෙබ් අඩවියට සහ අපගේ Facebook Event පිටුව https://www.facebook.com/events/1009003762496470/?active_tab=posts වෙත පිවිසෙන්න.

එහෙනම් JDA පෙරේරා කලාගාරයේදී හමුවෙමු!

written by Rashantha Nanayakkara and Vishva T.K. Herath